කොල්ලකරු දුරකතන කුළුණේ නැග සිටියදි අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළෙඳ සැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී හිමිකරුගේ රුපියල් ලක්ෂ 60 ක ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙහිවල ප්‍රදේශයේ දුරකථන කුළුණක් මත නැග සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම සැකකරු සමඟ එම කොල්ල කෑමට පැමිණි අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා රන් ආභරණ සමඟ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයන බවට ඔහුට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක අඩි 250 ක් පමණ උසැති දුරකථන කුළුණකට නැග අට්ටාලයක් සාදාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට විරෝධය පාන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට දැන ගැනීමට ලැබී තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම ස්ථානය ගිය පොලිිසිය උපක්‍රමශීලිව සැකකරු බස්සවා අත්අඩංගුවට ගෙන ඇත.